ඉතිහාසය කෙටියෙන්

ආයුබෝවන් / ඉතිහාසය කෙටියෙන්

ක්‍රි.ව. 1838 දී අකුරැස්ස ගොඩපිටියට පැමිණි මිෂණාරීන් ගොඩපිටිය රජමහා විහාරය අසල ගොඩලන්ද නැමති ඉඩමේ ඔවුන්ගේ ආගම පැතිරවීම සඳහා ක්‍රි.ව. 1839 දී කුඩා දේවස්ථානයක් ඉදිකරන ලදී.

ක්‍රි.ව. 1840 දී මෙම දේවස්ථානයට සම්බන්ධව පාසලක් පටන් ගන්නා ලදී. එහි පිරිමි ළමුන් පමණක් අධ්‍යාපනය ලැබූ අතර ක්‍රි.ව. 1850 දී වර්තමාන කඔුරුපිටිය පාරේ තිබ්බොටුවාවේ පල්ලියහේන නැමති ඉඩමේ දැකුම්කළු දේවස්ථානයක් සමඟ ගැහැණු පාසල ආරම්භ කරන ලදී. (A History Of The Methodist Church In Ceylon 1814 – 1964)

හෙන්රි ස්ටීල් ඹ්ල්කට්තුමාගේ සහ අනගාරික ධර්මපාලතුමාගේ මැදිහත්වීම මත මෙතෝදිස්ත පාසල් වැසී බෞද්ධ පාසල් බිහිවන්නට විය. ක්‍රි.ව. 1880 – 1890 සමය තුළ අළුතින් බෞද්ධ පාසල් 40ක් පරම විඥානාර්ථ සමාගම විසින් ආරම්භ කරන ලදී. මේ නිසා මිෂනාරි පාසල් වල ඉගනගත් බෞද්ධ ළමයින් ක්‍රමයෙන් අඩුවී බෞද්ධ පාසල් වල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවිය.

ක්‍රි.ව. 1909 සිට ක්‍රි.ව. 1914 කාලය තුළ බෞද්ධයන් විසින් වැඩියෙන් බෞද්ධ පාසල් ඇති කරන විට මිෂනාරි පාසල් බොහෙමයක් වැසීයන ලදී.

ක්‍රි.ව. 1921 දී ඉහත සඳහන් කළ මෙතෝදිස්ත පාසලත් බෞද්ධ පාසලත් එකතුකර රජය මඟින් එහි මිශ්‍ර පාසලක් ඇති කර එය තිබිබොටුවාවේ බොරළුකැටිය හේන ඉඩමේ ආරම්භ කරන ලදී. 1921.09.27 දින එම මිශ්‍ර පාසල පිහිටුවන ලද අතර එවකට එහි විදුහල්පතිවරයා වූයේ ඩී.ජේ. ජේ. රණතුංග මහාතාය. 1921.10.05 දින මෙම මිශ්‍ර පාසල නැවත ගැහැණු පිරිමි වශයෙන් වෙන් කර පාසල් දෙකක් ලෙස නැවත ආරම්භ කරන ලද්දේ බෞද්ධ පාසලක් ලෙසය.

මෙම කාලයේදී ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ඇමතිතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අනුව ගොඩපිටිය ජූනියර් පාසල (Junior School) නමින් අලුත් පාසලක් මෙම තිබ්බොටුවාවේ ආරම්භ කරන්නට සැලසුම් කරනලදී. එම නව පාසල ඇති කරීම සඳහා එවකට පැවති පිරිමි සහ ගැහැණු පාසල් දෙකේ 6,7 සහ 8 පන්තිවල සියළුම ළමයින් ඒ සඳහා බඳවා ගන්නා ලදී. ලොග් පොත් වල සටහන් වලට අනුව ගොඩපිටිය ජූනියර් පාසල ආරම්භ කරන ලද්දේ 1946.09.02 දිනය. මෙම ජූනියර් පාසල ආරම්භ කිරීම සඳහා පිරිමි සහ ගැහැණු පාසල්වල සෙවය කළ ගුරුවරුන්ගෙන් කොටසක්ද ලබාගත් අතර එහි ප්‍රධානාචාර්යවරයා ලෙස පත්ව පැමිණියේ කේ.ඩී. ජයසුමන මහතාය. ආරම්භයේදී ගුරුවරුන් 5 දෙනෙකු සහ සිසුන් 48 දෙනෙකු වූ අතර එය 1955. 01. 19 දින වන විට ගුරු මණ්ඩලය 08 දෙනෙකු සහ සිසුන් සංඛ්‍යාව 208 ක් බවට පත්විය. ගොඩපිටිය ජූනියර් පාසලෙහි දෙවන කණ්ඩායම සඳහා 6 වන පන්තියට අවට පාසල් වල 5 පන්තිය සමත් සිසුන් විශේෂ විභාගයක් පවත්වා ඉන් දක්ෂ සිසු සිසුවියන් ඒ සඳහා ඇතුළත් කර ගන්නා ලදී.

ගොඩපිටිය ජූනියර් පාසලෙහි මුල් ගුරුවරයා වූ කේ.ඩී. ජයසුමන මහතාගේ සේවා කාලය 1946.09.02 සිට 1956.12.31 දක්වා විය. ඉන්පසු එම ධූරය සඳහා පත් වූ එම්.යූ.ඩී. සිල්වා මහතා වන අතර එතුමා මෙම පාසල සඳහා පැමිණි ප්‍රථම උපාධිධාරී ගුරුවරයා ද විය. මෙතුමාගේ කාලයේ දී ප්‍රථම වරට නිවාසාන්තර තරඟ පැවැතිවීමට කටයුතු කරන ලදී. ගැමුණු, තිස්ස හා පැරකුම් වශයෙන් නිවාස තුනක් නම් කරන ලද අතර පාසලේ වර්ණය කොළ ලෙසද තීරණය කරන ලදී. 1954 වසරේ දී සිංහල මාධ්‍ය පාසලක් වූ මෙම 1955 දී ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය දක්වා පන්ති ආරම්භ විය.

මෙතුමාගේ සේවා කාලයේ දී 1957.01.05 දින ගොඩපිටිය පිරිමි පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට එවකට අධ්‍යාපන ඇමති වූ ගරු විජයානන්ද දහනායක මහතා පැමිණ ඇත. එහිදී ප්‍රකාශයක් කළ අධ්‍යාපන ඇමතිතුමා මෙම පාසල් තුනම සම්බන්ධ කර උසස් පාඨශාලාවක් ඇති කරන බව සඳහන් කරන ලදී. (ගොඩපිටිය මහා විද්‍යාලය ආරම්භ කිරීම කරන ලද ප්‍රථම ප්‍රකාශය මෙය ලෙස හැඳින්විය හැකිය.)

එතුමාගේ ප්‍රකාශය සනාථ කරමින් 1957.05.06 දින ගොඩපිටිය ජූනියර්, ගොඩපිටිය පිරිමි සහ ගොඩපිටිය ගැහැණු යන පාසල් තුනම ඒකාබද්ධ කර පශ්චාත් ප්‍රාථමික හා ප්‍රාථමික වශයෙන් මිශ්‍ර පාසල් දෙකක් ඇති කරන ලදී.

මින් ජ්‍යෙෂ්ඨ පාසලේ මුල් ගුරුවරයා ලෙස එම්. යූ. සිල්වා මහතා පත්කරන ලදී. නොබෝ කලකින් ජ්‍යෙෂ්ඨ පාඨශාලාව මාර/ගොඩපිටිය මහ විද්‍යාලය ලෙස (1959දී) නම් කරන ලදී. පාසල මහ විද්‍යාලය තත්වයට පත්කිරීමෙන් පසු තවත් උපාධිධාරී හා පුහුණු ගුරුවරු පැමිණීමත් සමඟ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීම නිසා ඉඩකඩ පහසුකම් මදිවිය. එම නිසා පරදුව (අමලගොඩ) නව ගොඩනැගිල්ල සදා කැකුණ මුල්ල ඉඩමට 1960.02.01 දින මෙම පාසල ගෙන එන ලදී.

error:
Scroll to Top